Take a fresh look at your lifestyle.

NPP වේදිකාවේ අදහස් පළකළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්ට කිසිදු කඳවුරකට ඇතුළු වීම සහ පහසුකම් ලබාගැනීම තහනම් – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

දේශපාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීම නිසා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට ගුවන් හමුදා කඳවුරු තුළට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය හැකි සියලු පහසුකම් ලබාගැනීම තහනම් කර ඇත.

පසුගිය 10දා සිට මෙසේ අසාදුලේඛනගත (Blacklisted) කර ඇති නිලධාරියා වන්නේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාය.(Air Vice Marshal Sampath Thuyacontha) ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු ලෙස සහ කීර්තිමත් නිලධාරියෙකු ලෙස සම්මාන ලබා ඔහු සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ මීට වසර එක හමාරකට පෙර ය.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ අදාළ ප්‍රවෘත්තිය තහවුරු කර ඇත. මෙම විශ්‍රාමික නිලධාරියා විසින් දේශපාලන පක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙසේ අසාදු ලේඛනගත කර ඇති බවත්, ඒ අනුව ඔහුට ගුවන් හමුදාවට අයත් කිසිදු කඳවුරකට ඇතුළු වීම හෝ ගුවන් හමුදාවෙන් කිසිදු පහසුකමක් ලබාගැනීම තහනම් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත පවසයි.

මෙම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා මේ වනවිට ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතු කරමින් සිටී. ඔහු පසුගියදා ගම්පහදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන රැස්වීමකදී ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් අදහස් දක්වා ඇත.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා බලපෑ සම්පත් තුයියකොන්තා විසින් පළකළ නිශ්චිත අදහස කුමක්දැයි විමසීමේදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැනට විශ්‍රාම ගිය සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් තමන් නියෝජනය කරන දේශපාලන පාර්ශ්වය සමග කටයුතු කිරීමට සූදානම් බවට ඔහු කළ ප්‍රකාශයක් මීට පදනම් වී ඇති බවයි. එම නිසා කඳවුරු තුළට ගොස් දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ට බලපෑමක් කළ හැකි නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.

මීට පෙර විශ්‍රාමික නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශවලට අදාළව මෙවැනි තීරණ ගෙන ඇත්දැයි විමසීමේදී ඔහු පැවසුවේ එවැනි තීරණ ගෙන ඇතැයි තමන්ට පැවසිය හැකි බවයි.

ගම්පහ පැවති රැස්වීමේදී අදාළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා පවසා තිබුණේ මෙවැන්නකි.

‘පෙබරවාරි එකොළොස්වැනිදා සමුළුවෙන් පස්සෙ ඒක ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. විශ්‍රාමික සාමාජිකයන් විතරක් නෙමෙයි, දැනට සක්‍රීය සේවයේ ඉන්න සාමාජිකයන් පවා මට පුද්ගලිකව කතාකරල ඒ කියපු දේ අනුමත කළා. ඒ කියන්නෙ අපේ වැඩේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.’

(ඔහු මෙහිදී සඳහන් කර තිබුණේ එම සාමූහිකය පැවැත්වූ සමුළුව පිළිබඳවය. එහිදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ වැදගත්කම සහ සියලු පුරවැසියන් ඊට එක්වීම අවශ්‍ය බව සඳහන් කර තිබිණි.)

ඔහු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස වසර 34ක් සේවය කළ නිලධාරියෙකි. 2021 නොවැම්බර් මාසයේදී ඔහු විශ්‍රාම ලබා ඇත.

Leave A Reply

Your email address will not be published.